රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීම බවත්, ජනතාව යළි පදිංචි කිරීම්වලදී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම වසරට අදාළව රජය ලබාදී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් අදාළ සියලු ප්‍රතිසංස්කරණ දෙසැම්බර් 31දාට පෙර නිම කරන ලෙසත්, එම ප්‍රතිපාදන කිසිසේත් ආපසු හරවා එවීමට කටයුතු නොකරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා.
ආපදා හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ඊයේ පස්වරුවේ ඌව පළාත් පුස්ථකාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
ජනතාවට සහන සැලසීමේදී සහ ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ප්‍රතිපාදනවල කිසිදු හිඟයක් නොමැති අතර අවශ්‍යව ඇත්තේ මෙම හදිසි අවස්ථාවේ සීමා නොසළකා මනා සම්බන්ධීකරණයෙන් සියලු ආයතන තම වගකීම ඉටුකිරීම බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.
ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 19,133කට අයත් පුද්ගලයන් 64,140ක් පීඩාවට පත්ව සිටිනවා.
එම දිස්ත්‍රික්කයේ නිවාස 418කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 7,703ක්.
හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය, විදුලිය, ජලය, සන්නිවේදනය, වාරිමාර්ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය, කෘෂිකර්මාන්තය යළි ආරම්භ කිරීම, පශු සම්පත් ක්ෂේත්‍රය, මිරිදිය ධීවර කර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩසටහන් පිළිබඳ මෙහිදි ජනාධිපතිවරයා වෙන් වෙන්ව කරුණු විමසනු ලැබුවා.
විදුලිය බිඳ වැටීම් යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් වුණේ මෙලෙසයි.
ආපදාවලට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලටද පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබා දෙන රුපියල් 25,000ක දීමනාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.




