ව්‍යසන කළමනාකරණය සඳහා වු ජාතික සභාවේ 14 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත් වුණා. ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව එලෙස රැස් වූයේ වසර 07කට පසුව වීම විශේෂත්වයක්. 2004 වසරේ දී ඇතිවූ සුනාමි ව්‍යසනයත් සමඟ ආපදා කළමනාකරණය පිළිබදව ඇතිවූ ජාතික අවශ්‍යතාවය මත 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනතට අනුව ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ස්ථාපිත කෙරුණා. එම සභාව මීට පෙර අවසන් වරට රැස්ව ඇත්තේ 2018 වසරේ අප්‍රේල් මස 05 වනදායි. ආපදා කළමනාකරණය වෙනුවෙන් වගකිව යුතු සියලු ආයතන වෙත පැවරී ඇති කාර්යභාරය නිසි පරිදි අධීක්ෂණය කරමින් රට තුළ ආපදා අවදානම අවම කිරීමත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් මගපෙන්වීමත් මෙම සභාව මඟින් සිදු කිරීමට අපේක්ෂිත කාර්යයන් වනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික හා පළාත් මට්ටමින් ආපදා අවදානම් සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීම මෙම සභාව මඟින් සිදු කෙරෙනවා. මෙම සභාවාරයේදී ආපදා කළමනාකරණ සැලසුම් හා ජාතික හදිසි අවස්ථා මෙහෙයුම් සැලැස්ම ඉදිරිපත් කරන ලද අතර සභාව විසින් එය අනුමත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මෙහිදී ශ්‍රී ලංකාවේ ආපදා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග නව ප්‍රවණතා හා ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා වී ඇති අතර, එකී කටයුතු වෙනුවෙන් කේන්ද්‍රීය මෙහෙයුමක් සහිත එක් ව්‍යුහයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් කමිටුවේ අවධානයට යොමුව තිබෙනවා. වත්මන් දේශගුණික විපර්යාසයන් හමුවේ ව්‍යසන කළමනාකරණය වඩා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව අවධානයට ලක් කරමින්, නව අභියෝගයන්ට මුහුණ දීම සඳහා මේ වන විට ක්‍රියාත්මක පනත, කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය විය යුතු බවයි එම කමිටුව තීරණය කර ඇත්තේ. ව්‍යසන කළමනාකරණය හා සහන සැලසීමට සම්බන්ධ මූල්‍යමය සීමාවන් සංශෝධනයටත්, නැවතී ඇති ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී උපදෙස් ලබාදී තිබෙනවා. වර්තමාන තත්ත්වයන්ට ගැළෙපෙන පරිදි ආපදා කළමනාකරණ පනත යාවත්කාලීන කරන ලෙසද ජනාධිපති විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ආපදා කළමනාකරණය සඳහා අරමුදලක් ඇති කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට ද සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ව්‍යසන කළමනාකරණය සඳහා වු ජාතික සභාවේ සභාපති ලෙස ජනාධිපතිවරයා ද, උප සභාපති ලෙස අග්‍රාමාත්‍යවරයා ද, විපක්ෂ නායකවරයා, අදාළ විෂයභාර අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් හෝ ආණ්ඩුකාරවරුන් සහ පාර්ලිමේන්තුවෙන් නම් කරන ලද මන්ත්‍රීවරුන් හෝ විශේෂඥයින් පස් දෙනෙකු ඇතුළත් වනවා.