විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මාතලේ දිස්ත්‍රික්කයේ කලුදෑවල ප්‍රදේශයේ ජනතාව සම්බන්ධයෙන් සොයා බැලිමට අද එම ගම්මානයට ගිය අවස්ථාවේ දී කල අදහස් දැක්වීම පහතින්.

අදටත් රටේ බොහෝ ස්ථාන නායයෑම් නිසා බරපතල අවදානම් තත්ත්වයකට මුහුණ දී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂඥයන් දින ගණනාවක් පුරා මේ අවදානම් තත්ත්වය රටට හෙළිදරව් කළත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සහ සැලැස්ම නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුයේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ පැහැදිලි සැලසුමක් නොමැතිව අකාර්යක්ෂමව ක්‍රියාත්මක වී ඇති බවට වාර්තා වන බවත් මේ සඳහා පැහැදිලි නායකත්වයක් ද නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආපදාවක දී මේ ආපදාවට ලක්වන භූමි හදුනා ගෙන තිබුණත් මේ කරුණු සන්නිවේදනයේ දී විශාල අසාර්ථකත්වයක් සිදු ව සමස්ත ආපදා කළමනාකරණ යාන්ත්‍රණය අද බිද වැටී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ අවවාද උපදෙස් පිළිපදින්න බැරි ආපදා කළමනාකරණ ආයතනයකින් රටට ඇති ප්‍රයෝජනය කුමක් ද කියා ප්‍රශ්න කරන බවත් මේ නිසා ජීවිත, නිවාස, වගාබිම් අහිමි වී ජීවනෝපාය විනාශ වී ලක්ෂ සංඛ්‍යාත රටේ ජනතාවගේ මානව හා මූලික අයිතිය පවා උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජයේ ප්‍රධාන වගකීම වන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කර ජනතාව රැක ගැනිම බවත් අවදානම් තත්ත්වය ගැන අනාවැකි කියන විට ජනතාවගේ ජීවිත අවදානම් තත්ත්වයට ලක් කර අකර්මන්‍ය වූ කඩාවැටුනු බිද වැටුණු ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් තුළ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අහිමි වූ බවත් පවතින අසාර්ථක ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ මූලික හා මානව අයිතිය උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් පවතින අසාර්ථක ආපදා කළමනාකරණ ක්‍රමවේදය වෙනුවෙන් මේ ව්‍යවසනයෙන් පාඩම් ඉගෙන ගෙන නව ක්‍රමවේදයකට ගොස් අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත ජන ජීවිතයක් උදා කරවීම වෙනුවෙන් නැවත පදිංචි කරවීම් සිදු කළ යුතු බවත් රජය ප්‍රකාශ කළ ආකාරයට සියලුම සහනාධාර ජනතාවට ලැබිය යුතු බවත් එය කඩිනම් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේම රට ගොඩනගන ජනතාව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන බවත් එකමුතුභාවය සහෝදරත්වය ශක්තිය කර ගෙන කඩාවැටුණු බිඳ වැටුණු අපේ රට යළි ගොඩනගන්නට කැපවිය යුතු බවත් ව්‍යවසනයකට ලක්වූ ජනතාව වෙනුවෙන් උපරිම සහන ලබා දෙන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා ඇති බවත් මේ සඳහා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සහයෝගය ලබා දෙන බවට වන පණිවිඩය පවා ලබා දී ඇති නිසා රජය ආපදාවට ලක් වූ ජනතාවට කඩිනම් සහන දෙනවා සේම ජනතාවගේ ජීවිත ආරක්ෂාවන භුමියකට යොමු කර ඔවුන්ගේ ජන ජීවිත ශක්තිමත් කරන ලෙසත් ප්‍රතිපත්තිගරුක විපක්ෂයක් ලෙස ජනතාව ජිවත් කරවන සියලුම සාධනීය වැඩපිළිවෙළකට සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.