දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ආපදා හේතුවෙන් පුද්ගලයින් 190 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් විස් එක් ලක්ෂ හැත්තෑ නව දහස් එකසිය තිස් අට දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

පවුල් 27,663ක පුද්ගලයින් 89,857ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර සිදුව ඇති මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 232ක්.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 89ක් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

සිව්වැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එම මරණ සංඛ්‍යාව 35ක්.

මේ අතර පැවති ආපදා තත්ත්වය හමුවේ නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව තිබෙනවා.

නිවාස 76,066කට අර්ධ හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.