පාර්ලිමේන්තුව අද පෙරවරු 09යි 30ට යළි රැස් වනවා.

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ඉල්ලීම පරිදි අද දිනයේ පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම සඳහායි.

එය අද දිනයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මිට අමතරව හෙට දිනයේදීද පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරුණා.

ඒ අනුව හෙට පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා ද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේ ඉදිරිපත් කෙරෙන රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව එහිදී විවාද කොට අනුමත කරගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.