ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව මහව සිට අනුරාධපුර දක්වා අතර ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේදී එම දුම්රිය ස්ථාන වලට ප්‍රවේශ වීමට ආබාධ සහිත පුද්ගලයින්ට පහසුකම් නොසලසා ප්‍රමිතියෙන් තොරව දුම්රිය ස්ථාන අලුත් වැඩියා කර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණය හමුවේ පවරා අති නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 18 දින ලබා දීමට අනුරාධපර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා නියෝග කර තිබෙනවා.

එලෙස නියෝග කළේ මෙම නඩුවට අදාළව පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ අමන්දා කල්පශාඛා මෙනවියගේ උපදෙස් මත නීතිඥ ඉසුරු මහේෂ් පන්ඩිත මහතා සහ වගඋත්තරකරුවන් වන රජයේ අධිනීතිඥ සදුනි වලළවගේ මහත්මිය දීර්ඝව අධිකරණයට කළ කරුණු දැක්වීම් සළකා බැලීමෙන් අතුරුවය.

ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපති නාරායන ගෙදර කමලාවතිී මහත්මිය අනුරාධපුර මහාධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක එම අමාත්‍යංශයේ ලේකම්වරයා දුම්රිය සාමාන්‍යාධිකරිවරයා සහ උතුරු පළාත සහ අනුරාධපුර බාර ඉංජිනේරු අධිකාරිවරයා සහ නීතිපතිවරයායි.

ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමාගමීව මහව සිට අනුරාධපුරය දක්වා අතර ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේදී 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 25 වන වගන්තිය යටතේ සාදන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2006 අංක 1 දරණ (ප්‍රවේශ) අනුගමනය කිරීමකින් තොරව ප්‍රශ්න ගත දුම්රිය ස්ථාන සංවර්ධනය කර ඇති බව පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු මහේෂ් පන්ඩිත මහතා සදහන් කර තිබෙනවා.

නීතිඥවරයා තවදුටරත් පවසා සිටියේ 1996 අංක 28 දරණ අබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 24 (1) සහ 24 (3) වගන්ති ප්‍රකාරව ආබාධ සහිත පුද්ලයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ අවස්ථාවකදී ඊට අදාළව අධිකරණ බලය සහ සාධාරණ සහ යුක්ති සහගත ප්‍රතිකර්ම සහ සහන ලබා දීමට පළාත් බද මහාධිකරණයකට බලය පවතින බවයි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතිඥ සදුනි වළවගේ මහත්මිය දීර්ඝව කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාරිය මෙම නඩුව පවරා ඇතතේ දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් පවතින අවස්ථාවේ කරන ලද නිරීක්ෂණයන් මත පදනම්ව බවයි.

ඇයගේ අයිතිවාසිකම් කඩවී නැති බවද කියා සිටි රජයේ නීතිඥවරිය ආබාධ සහිත පුද්ගලයින්ට පොදු ප්‍රවාහන පහසුකම් සඳහා ප්‍රවේශ වීමට ඇති අයිතිය වගඋත්තරකරුවන් පිළි ගන්නා බවද පවසා තිබෙනවා.

ප්‍රවේශ පහසුකම් සම්පූර්ණයෙන්ම සැළසීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත්තේ අවශ්‍ය තරම් ප්‍රතිපාදන නොමැතිකම නිසා බවද අවධාරණය කල රජයේ නීතිඥවරිය පෙත්සම්කාරිය ඉල්ලා සිටින නියෝග අධිකරණය මගින් ලබා දුන්නද ප්‍රතිපාදන නොමැතිකම නිසා ඒවා ක්‍රියාත්මක කිරීම අසීරු බවද වැඩිදුරටත් පවසා තිබෙනවා.

රජයේ නීතිඥවරියට ප්‍රතිචාර දක්වමින් නීතිඥ ඉසුරු මහේස් පන්ඩිත මහතා තවදුරටත් පැවසුවේ මෙම ප්‍රවේශ නියෝග අනුගමනය නොකිරීම ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට ශේෂ්ඨාධිකරණය ද තීරණය කර ඇති බවයි.

දොපර්ශවයේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 18 දින ප්‍රකාශයට පත් කිරීමට නියෝග නිකුත් කල අතර පෙත්සම්කාරු වෙනුවෙන් නීතිඥ අමන්දා කල්පශාකා මෙනවියගේ උපදෙස් මත නීතිඥවරුන් වන ඉසුරු මහේස් පන්ඩිත සහ ධනුක කුමාරවඩු යන මහත්වරුන් පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතිඥ සඳුනි වළවගේ මහත්මිය පෙනී සිට තිබෙනවා.