ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව භාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබා දෙන උපදෙස් මත කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇතැයි නීතිවේදීන් පවසනවා. අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පෙර එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කතානායකවරයා විසින් නිතිපතිවරයා වෙත භාර දෙනු ඇති බවයි හිටපු මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.

කෙසේවෙතත් එම විශ්වාසභංග යොජනාව පිළිබඳ කතානායකවරයාට දෙවරක් සිතීමට සිදු වනු ඇති බවයි ඔහු පැවසුවේ. ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනා පසුගියදා භාර දෙනු ලැබුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින්.