බස් ධාවනයේදී රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට රජය තීරණය කිරීමත් සමග ආසන පටිවල මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව බස් රථ කර්මාන්තයේ ව්‍යවසායෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා. නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් ආසන පටිවල හිඟයක් ද පවතින බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මෙම කරුණ සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බවයි.

ආසන පටි අනිවාර්ය කිරීමත් සමග වෙළඳපොලේ පවතින ආසන පටි හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ එවැනි ගැටලුවක් පවතින බවට බස් රථ හිමියන්ගෙන් නිශ්චිත තොරතුරු ලැබුනහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත හැකි බවයි.