අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

ඒ, මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳව ලැබූ අවස්ථාවේදීයි.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස තම සේවාදායකයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අදාල ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා රුපියල් අසූ අට ලක්ෂ පනස් දහසක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

අදාල සැකකරු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් කොළඹ මහාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.