මෝටර්රථ 3,000ක් ප්‍රවාහනය කල නෞකාවක් ඇලස්කා මුහුදේදී ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

චීනයේ යන්තායි සිට මෙක්සිකෝවේ ප්‍රධාන පැසිෆික් වරායක් වන ලාසාරෝ කාර්ඩනාස් වෙත මෝටර් රථ ප්‍රවාහනය කල නෞකාවක් එලෙස ගිනි ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ගින්න පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් එම නෞකාව අත්හැර දැමීමට සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අනතුරට ලක් වන අවස්ථාවේදී නෞකාව තුල කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 22 ක් රැඳී සිට ඇති අතර ඔවුන් ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් පිටවී ගොස් තිබෙනවා.

වෙනත් නෞකාවක කාර්ය මණ්ඩලය විසින් ඔවුන්ව බේරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නෞකාවේ ගින්න ඇතිවීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.