ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේදී සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 15 දෙනාගේ මෘත දේහ මේ වන විට ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර තිබෙනවා. එලෙස ජීවිතක්‍ෂයට පත්වූ 10 දෙනෙකුගේ මෘත දේහ පළමුව තංගල්ල නගර ශාලාව වෙත රැගෙන එනු ලැබුවා. එහිදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව එම මෘත දේහයන් පවුල්වල ඥාතීන්ට භාරදුන් බවයි තංගල්ල නගර සභාවේ සභාපති පී පී ජී නන්දසිරි මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ. අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු දේශපාලඥයින් කිහිපදෙනෙකු සහ රජයේ නිලධාරීන් පිරිසක්ද එම මෘත දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා තංගල්ල නගර ශාලාව වෙත පැමිණි බවද ඔහු කියා සිටියා. මේ, එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය.

මේ අතර අනතුරට ලක්වූ එම බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ. මේ අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙකු තවදුරටත් බදුල්ල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.