ඇල්ල - වැල්ලවාය ප්රධාන මාර්ගයේදී සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 15 දෙනාගේ මෘත දේහයන් ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දී තිබෙනවා. ඒ, දියතලාව සහ බදුල්ල රෝහල්වලදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුවයි. ඉන් අනතුරුව ඊයේ රාත්රියේම එම මෘත දේහයන් ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 09කගේ මෘත දේහයන් එලෙස භාර දී තිබෙනවා. මිය ගිය පිරිසෙන් 12 දෙනෙකු තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වනවා. කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද අනතුරෙන් මිය ගියා. තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අඩි දහසක පමණ ප්රපාතයකට පෙරළී එම අනතුර සිදුවුණා. එහිදී තවත් පුද්ගලයින් 18 දෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කෙරුණා. එම සියලුදෙනා තංගල්ල සහ ඒ අවට ප්රදේශවල පදිංචිකරුවන්. ඔවුන් තංගල්ල නගර සභා සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ද වනවා. පිරිමි පුද්ගලයින් 6ක්, කාන්තාවන් 5ක්, පිරිමි දරුවන් 3ක් සහ දැරියන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල තවදුරටත් එලෙස ප්රතිකාර ලබමින් සිටිනවා. මේ අතර අනතුරෙන් මිය ගිය අය වෙනුවෙන් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා. ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
Published