ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. තලෙයිබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළේ මිය ගිය ගණන 610ක් බවයි. තවත් පුද්ගලයින් 1,300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද එහි සඳහන්. භූමි කම්පාව හේතුවෙන් නිවාස රැසක් සුන් බුන් බවට පත්ව තිබෙනවා. තවත් සැලකිය යුතු පිරිසක් සුන්බුන් යට සිරවී සිටිනු ඇති බවටයි ඇෆ්ගන් බලධාරීන් සැක පළ කරන්නේ. භූ කම්පනය සිදු වූ ප්‍රදේශයට ළඟා වීමට ඇති මාර්ගවල පවතින තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සංකීර්ණ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. අදාළ ප්‍රදේශවල සන්නිවේදන සබඳතාද බිඳ වැටී තිබුණා. පවතින තත්ත්වය සලකා තලෙයිබාන් පාලකයින් ජාත්‍යන්තර සංවිධානවලින් ආධාරද ඉල්ලා ඇතැයි සඳහන්. ඇෆ්ගනිස්ථාන වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපංකයේ ඒකක 6.0. භූ කම්පනය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නුවර සිට පකිස්ථානයේ ස්ලාමාබාද් අගනුවර දක්වා ගොඩනැගිලි සෙලවීමට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රධාන භූමි කම්පාවෙන් පසු රික්ටර් මාපාංක ඒකක 4.5 ත් 5.2 ත් අතර පසු කම්පන තුනක්ද සිදුව තිබුණා.