වවුනියාව විද්‍යා පීඨයේ සිසුන් අතර උණ හා වමනය රෝගයක් පැතිර යාම නිසා එහි සිසුන් 8 දෙනෙකු 15 දා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

වසංගතයක් වශයෙන් පැතිර යන මෙම රෝගයට ගොදුරු වීම නිසා විද්‍යා පීඨයේ සිසුන් 42 ක් පමණ මේ වන විට රෝගීන් බවට පත්ව තිබෙනවා.

ඔවුන්ගෙන් පිරිසක් පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබෙන අතර මෙම රෝගය නිසා වවුනියාව විද්‍යා පීඨයේ සිසුන්ට නිවාඩු ලබා දෙන ලෙස දෙමව්පියන් හා සිසුන් පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇතත් පාලන අධිකාරිය ප්‍රකාශ කොට ඇත්තේ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව නිවාඩු ලබා දීම සිදු කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙම රෝගය ඉතා සීග්‍රයෙන් පැතිර යාම නිසා විද්‍යා පීඨය තුළ අධ්‍යයන කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

රෝගය පිළිබදව තොරතුරු දැනගත් වහාම මඩකලපුව කල්මුණේ එරාවුර් ත්‍රිකුණාමළය වැනි පළාත් වලින් දෙමව්පියන් විශාල පිරිසක් විද්‍යා පීඨය වෙත පැමිණ තම දරුවන් නිවෙස් වලට රැගෙන යාමට අවසර ඉල්ලා ඇතත් පැය හතරක් යන තුරු දෙමව්පියන්ටද විද්‍යා පීඨය තුළට පැමිණීමට පලන අධිකාරිය අවසර ලබා දී නොමැති බව සදහාන් වනවා.

පැමිණි දෙමව්පියන් ලිපි ලියා තම දරුවන් නිවෙස් වලට රැගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

රෝගය වැළදී තවමත් විද්‍යා පීඨය තුළ සිටින සිසුන් ප්‍රකාශ කරන්නේ තමන්ට නිසි ආහාරයක් හා ප්‍රතිකාරයක් ලබා ගැනීම පිණිස නිවෙස් වලට යාමට අවසර ලබා දෙන ලෙසයි.

පාලන අධිකාරිය ප්‍රකාශ කොට ඇත්තේ එලෙස සිසුන්ට නිවාඩු ලබා දීමෙන් අධ්‍යයන කටයුතු වලට බාධාවක් සිදුවන බවයි.

නමුත් සිසුන් අසනීප නිසා දේශන වලට සහභාගී නොවීම නිසා වවුනියාව අධ්‍යාපන විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු අඩාල වී තිබෙනවා.