බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 100කට සහභාගී වූ පළමු ක්‍රීඩකයා බවට මුෂ්ෆිකර් රහීම් අද වාර්තා පොත් අතරට එක්වුණා.

ඒ, අයර්ලන්තයට එරෙහිව මීර්පූර්හිදී දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදීයි.

2005 වසරේදී ටෙස්ට් වරම් දිනාගත් මුෂ්ෆිකර් රහීම් එතෙක් මෙතෙක් මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස පිහිටවූ වාර්තාව තවමත් බිඳ වැටී නැහැ.

ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 18යි දින 17ක්.

ඔහු ටෙස්ට් පිටියේ රැඳී සිට ඇති කාලය අවුරුදු 20ක්.

ඒ අනුව වසර 20ක දීර්ඝ ටෙස්ට් තරඟ ඉතිහාසයක් ඇති ලොව සිටින ක්‍රීඩකයින් තිදෙනා අතරට ද මුෂ්ෆිකර් රහීම් එක්වනවා.

එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් සහ සිම්බාව්වේ බ්‍රෙන්ඩන් ටේලර් සෙසු ක්‍රීඩකයින් දෙදෙනායි.

මේ දක්වා ටෙස්ට් තරඟ 99කට ක්‍රීඩා කර මුෂ්ෆිකර් ලකුණු 6,351ක් රැස්කර ඇත්තේ ශතක 12ක් ද සමගයි.

ඒ අනුව ටෙස්ට් ලකුණු 6,000 සීමාව පසු කළ එකම බංග්ලාදේශ පිතිකරුවා වන්නේ ද ඔහුයි.

එමෙන්ම ටෙස්ට් ද්විත්ව ශතක එකකට වඩා රැස් කළ එකම බංග්ලාදේශ පිතිකරුවා සහ එකම කඩුලු රකින්නා බවට ද නම් දරා සිටින්නේ මුෂ්ෆිකර් රහීම්.

කණ්ඩායමක පස්වන ස්ථානයේ හෝ ඊට පහළ ස්ථානයේ පිතිකරණයේ යෙදෙමින් ද්විත්ව ශතක තුනක් හෝ වැඩි ගණනක් රැස් කළ ටෙස්ට් ඉතිහාසයේ ලොව තුන්වන පිතිකරුවා බවට ද ඔහු පත්ව සිටිනවා.