ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසනවා.

උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 01.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දකුණු පළාතේ විටින් විට පැයට කිලෝ මීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කළා.