කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, හෙට පෙරවරු 10 වන තෙක් වලංගු වන පරිදියි.

ඒ අනුව දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද විටින් විට පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර මුහුදු ප්‍රදේශවලට බලපා ඇති තද සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා පවසනවා.

ඔහු පැවසුවේ පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට සහ පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60ත් 70ත් දක්වා වර්ධනය දක්වා වැඩිවිය හැකි බවයි.

එම තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වීමේ හැකියාවක් පවතිනවා.

මෙම තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 සඳහා යාත්‍රා නොකරන ලෙසයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.