අමෙරිකාවෙන් එල්ල වන වෙළඳ අභියෝග මධ්‍යයේ ඉන්දියාවට අලෙවි කරන ඉන්ධන සඳහා තවත් වට්ටම් ලබාදීමට රුසියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදී ඉන්දියාව ඇනවුම් කර ඇති බොරතෙල් තොග සඳහා තෙල් බැරලයකට ඩොලර් 03ත් 04ත් අතර තවත් වට්ටමක් ලබාදීමටයි රුසියාව තීරණය කර ඇත්තේ. රුසියාව විසින් ඉන්දියාවට අලෙවි කරන ඉන්ධන සඳහා මෙවැනි වට්ටමක් ලබාදී ඇත්තේ අමෙරිකාව විසින් ඉන්දියාවට පනවා ඇති තීරු බදු සියයට 50ක් දක්වා වැඩිකර ඇති පසුබිමක් තුළයි. ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට දඬුවමක් ලෙස අමෙරිකාව විසින් ඉන්දීය භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු සියයට 25 සිට සියයට 50 දක්වා දෙගුණ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තීරණය කළා. ඒ, ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම යුක්‍රේන යුද්ධයට සහාය දැක්වීමක් යැයි පවසමින්. මේ අතර චීනයේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වීම සම්බන්ධයෙන් ද අමෙරිකාව විවේචන එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. අමෙරිකානු ජනාධිපතිවරයාගේ වෙළඳ උපදේශක පීටර් නව්රෝ පවසා ඇත්තේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු සහ චීන ජනපතිවරුන් හමුවීම ලැජ්ජා සහගත කරුණක් බවයි. ඉන්දියාව සිටිය යුත්තේ රුසියාව සමග නොව එක්සත් ජනපදය සමග බවද ධවල මන්දිර වෙළඳ උපදේශකවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා. මේ අතර දෙවන ලෝක යුද්ධයේදී ජපානය, චීනයට යටත් වීම එනම් චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් චීනයේ දී අද පැවති දැවැන්ත හමුදා පෙළපාලියට චීන ජනාධිපතිවරයා සමග රුසියානු හා උතුරු කොරියානු නායකයින් දෙදෙනා එක්ව සිටීම ලොව පුරා දැඩි අවධානයක් හිමිකරගත් සිදුවීමක් වුණා. චීන, රුසියානු සහ උතුරු කොරියානු නායකයින් තිදෙනා එකට හමුවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. චීනය සතු නවීනතම න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල, දිය යට හැසිර විය හැකි ඩ්‍රෝන යානා සහ නවීනතම ආයුධ රැසක් එම පෙළපාලියේදී ප්‍රදර්ශනය කෙරුණා. එහිදී අදහස් දක්වමින් චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබුණේ තම රට කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවයි. තම රටට හිරිහැර කරන්නන් පිළිබඳ කිසි විටෙකත් බියට පත් නොවන බවද ඔහු එහිදී අවධාරණය කළා. මේ අතර එම විජයග්‍රාහී සැමරුම පැවැත්වෙන අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ චීන ජනාධිපති ෂී ජිංපින් අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන බවයි. එබැවින් “කරුණාකර ව්ලැඩිමීර් පුටින්ට සහ කිම් ජොන් උන්ට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන්නැයි” ද අමෙරිකානු ජනාධිපතිවරයා එම සටහනේ දක්වා තිබුණා.
Published