ඉන්දියාව සහ ජපානය අතර පවතින සබඳතාවල "ස්වර්ණමය පරිච්ඡේදයක්" විවෘත කිරීමට කැමති බව ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි පැවසුවාය.

ඇය මේ බව පවසා ඇත්තේ ජපන් අග්‍රාමාත්‍යධූරයට පත්වීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලබා දුන් දුරකතන ඇමතුමකදීයි.

එහිදී දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමට නායකයින් දෙපළ එකඟ වී තිබේ.

එමෙන්ම ගෝලීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා ශක්තිමත් සබඳතා අත්‍යවශ්‍ය බව ද ඔවුන් අවධාරණය කර ඇත.

Quad හවුල හරහා ඉන්දු-පැසිෆික් කලාපයේ එකට වැඩ කිරීමේ වැදගත්කම ජපාන අග්‍රාමාත්‍යවරිය එහිදී පෙන්වා දී තිබේ.

දුරකතන සංවාදය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පළ කළ X හි සටහනක සඳහන් වන්නේ එහිදී ආර්ථික ආරක්ෂාව සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කළ බවයි.

ඇය බලයට පත්වීම ගැන ඇයට සුබ පැතූ අතර ආර්ථික ආරක්ෂාව, ආරක්ෂක සහයෝගීතාව සහ කුසලතා සංචලතාව කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියා-ජපාන විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම සඳහා අපගේ හවුල් දැක්ම සාකච්ඡා කළ බව ද මෝදි වැඩිදුරටත් සඳහන් කර තිබේ.