භූමිතෙල් කවලම් කළ ඉන්ධන යොදාගනිමින් ටිපර් රථයක් ධාවනය කළ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙනවා.

සැකකරුට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කළ බවයි ලිදුල පොලිස් රථවාහන අංශය පැවසුවේ.

වලපනේ සිට හැටන් දක්වා වැලි ප්‍රවාහනය කරන ඇතැම් ටිපර් රථවල ඉන්ධනවලට භූමිතෙල් කවලම් කර ධාවනය කරන බවට ලද තොරතුරක් මත පොලීසිය විසින් අදාළ ටිපර් රථයේ ඉන්ධන සාම්පල පරීක්ෂා කර තිබෙනවා.

ඒ අනුව ටිපර් රථයෙන් ලබාගත් ඉන්ධන සාම්පල ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාරයකට යොමු කර එහි වාර්ථාවක් ලබා ගැනීමට නියමිතයි.

එම වාර්ථාව අනුව සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි ලිදුල පොලිස් රථවාහන අංශය වැඩිදුරටත් සඳහන් කළේ.