සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන මේ මොහොතේ දිට්වා සුළි කුණාටුවෙන් පසු ගැටලු රැසකට මුහුණ දී ඇති අවස්ථාවක රජය විසින් සිදු කළ යුතු වැදගත් කාර්යන් කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රජය දැනුවත් කරන ලැබූ අතර එම අවස්ථාවේදී කල අදහස් දැක්වීම පහතින් දැක්වේ.

ඉඹි ගමනින් යන්නේ නැතිව විපතට පත් ජනතාවට කඩිනම් සහන සලස්වන්න

පශ්චාත් දිට්වා සුළි කුණාටු සමයේ කඩිනමින් ඉටු විය යුතු කාර්යන් කිහිපයක් ඇති නිසා ඒවා ඉටු කරන්න රජය වහා පියවර ගත යුතු බවත් ඒ යටතේ විපතට පත් අපේ රටේ ජනතාවට කඩිනම් සහන සැලසවීමට කටයුතු කළ යුතු බවත් ආරක්ෂිත භූමියක තමන්ගේම නිවස සාදා ගැනිම සහ ස්ථිරසාර ජීවනෝපායක් නිර්මාණය කර ගැනීමට දරු පවුල් රැකබලා ගැනිමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වුවත් එය තවමත් ඉටුවී නැති බවට ජනතාව පවසන බැවින් ඉබි ගමනින් නොයා නිශ්චිත ක්‍රමවේදයක් තුළ කාර්යක්ෂම වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කඩිනමින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න

එසේම අප රටට ලැබුණු ආධාර සහ සිදුවූ විපත තුළින් නිර්මාණය වූ පිරිවැය අතර ගැලපීමක් නොමැති බැවින් කල්මරන්නේ නැතිව කඩිනමින් ජාත්‍යනතර ආධාරක සමුළුවක් කැඳවිය යුතු බවත් ලෝකයාගේ අවදානය දයාව අනුකම්පාව රටට ලැබී ඇති මොහොතක රජය කළ යුත්තේ කාර්යක්ෂම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීම බවත් රජය මේ කරුණ ගැන තවමත් උනන්දු වී නොමැති බවත් දැන්වත් පමා නොවී ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ණය ගිවිසුම් වෙනස් කර ගන්න උත්සාහ කරන්න

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර සෛරී බැදුම්කර හිමියන්, ද්විපාර්ශ්වීය ණයකරුවන් සමග සාකච්ඡා කර නිර්මාණය වී ඇති මේ දරදඩු බරපතල කොන්දේසි ලිහිල් කර අලුත් මූල්‍ය ගිවිසුමකට ප්‍රවේශ විය යුතු බවත් එය සිදු නොකර නම් රටට ඉදිරියට යා නොහැකි බවත් ඊට අමතරව 2028 විදේශ ණය ගෙවීමේ ක්‍රියාවලිය තවත් වසර කිහිපයකට දීර්ඝ කර ගන්නා ලෙස ඉල්ලා සිටින ලෙසත් මේ තත්ත්වය හමුවේ 2028 ණය ගෙවීම යථාර්ථවාදී නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දැන්වත් ඩොෆ්ලර් රේඩාර් පද්ධති ස්ථාපිත කරන්න

එසේම අද වැනි දිනක අප රටේ මීට වසර 21කට පෙර 2004 වසරේ සුනාමි ව්‍යවසනයකට මුහුණ දුන් බවත් මේ නිසා 40000කට ආසන්න ජිවිත අහිමි වුවත් මේ සුනාමියෙන් පාඩම් ඉගෙන ගැනීමට රට අපොහොසත් වූ නිසා ඩොෆ්ලර් රේඩාර් ක්‍රමය ඇති කරන්න නොහැකි වූ බවත් එම නිසා පුත්තලමේ සහ පොතුවිල්වල මේ රේඩාර් පද්ධතිය ඇති කරන්න කටයුතු කළ යුතු බවත් සුනාමියෙන් සහ දිට්වා සුළි කුණාටුවෙන් උගත් පාඩම් ඉගෙන අලුත් ආපදා කළමනාකරණ ආපදා කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු බවත් නව ආයතන ඇති කර නව පනතක් ක්‍රියාත්මක කර මේ විෂය කැබිනට් අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත කර ඉහළම ප්‍රමුඛස්ථානය ලබා දී මේ ආපදාවලින් සිදුවන විපත් අවම කිරීමට යා යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ස්වාධීන මාධ්‍ය ආයතන මර්දනය කරන්න එපා

ස්වාධීන මාධ්‍ය පසුපස එළවා මාධ්‍ය නිදහස අහුරන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඇති ඉඩකඩ සීමා නොකර රටටත් ජනතාවටත් ප්‍රයෝජනයක් ඇති දේ සිදු කරන ලෙස ඉල්ලා සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.