ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන යුද ගැටුමට අමෙරිකාව එක්සත් සම්බන්ධ නොමැති බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු සිය නිල ටෘත් සෝෂල් සමාජ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද නව ප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකාව කිසිදු සම්බන්ධයක් නොපවතින බවයි.
කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය සහ ඊශ්‍රායලය අතර ගිවිසුමක් ඇති කර මෙම ලේ හැලීම් අවසන් කළ හැකි බව සහ අමෙරිකානු ඉලක්කවලට පහර නොදෙන ලෙස ටෙහෙරානයට අනතුරු අඟවන බවයි.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන සිය පළි ගැනීමේ ප්‍රහාර නැවැත්වීමට උදව් නොකරන ලෙස ඉරානය විසින් අමෙරිකාව, ප්‍රංශය සහ එක්සත් රාජධානියට අනතුරු අඟවා තිබුණා.
එමගින් ඉරානය පෙන්වා දී තිබුණේ යම් හෙයකින් එසේ වුවහොත් ඉරානය විසින් කලාපයේ පිහිටි එම රටවල් තුනට අදාළ හමුදා කඳවුරු සහ නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.
මීට පිළිතුරු ලබා දෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ යම් ආකාරයකින් හෝ පහර දීමක් සිදුවුවහොත් එක්සත් ජනපද හමුදාවන්ගේ පූර්ණ ශක්තිය සහ බලය ඉරානයට දැකගත හැකි වනු ඇති බවයි.
ඉරානය පළිගැනීමේ ප්‍රහාර දියත් කළ දා සිට මේ දක්වා ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගිය බවයි ඉරානය පවසන්නේ.