ඉරානය විසින් අමෙරිකාවට යලිත් වරක් අනතුරු අඟවා තිබෙනවා.

ඒ අමෙරිකාව විසින් ඉරානයේ නයෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ල කල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර සිදු කරන බව පවසමින්.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්‍ෂක බලකායේ ප්‍රකාශක ඊබ්‍රාහීම් සොල්ෆගාරි ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව විසින් ඍජුව යුද්ධයට අවතීරණ වී ඇති බවයි.

ඔවුන් ඉරාන පූජනීය භූමිය උල්ලංඝණය කර ඇති බවද ඔහු පවසා තිබෙනවා.

බලවත් සහ ඉලක්කගත මෙහෙයුම් හරහා එක්සත් ජනපදයට බරපතල කණගාටුදායක සහ අනපේක්‍ෂිත ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්‍ෂක බලකායේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලයට තවදුරටත් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ හේතුවන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 8,000කට පමණ විදුලිය අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලයද මධ්‍යම ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති තිබෙනවා.

කෙසේවෙතත් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකා මූලස්ථානය ඉලක්ක කර ගනිමින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ඊශ්‍රායලය විසින් අඛණ්ඩ ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ මොස්කව්හිදීයි.

එම සාකච්ජාව සඳහා රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ වොෂින්ටනයේ හිටපු රුසියානු තානාපති යූරි උෂාකොව් ද සහභාගී වී තිබෙනවා.

එහිදී රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු ප්‍රහාර රුසියාව විසින් හෙළා දකින බවයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ තම රටට රුසියාව සමඟ මිත්‍රශීලී සබඳතා ඇති අතර එම සබඳතා වර්ධනය වී ඇති බවයි.