අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන සටන් විරාමය බිඳ වැටෙන තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ, ඉරානය සටන් විරාම ගිවිසුම උල්ලංඝණය කිරීම හේතුවෙන් යළි ප්‍රහාර ආරම්භ කරන ලෙස සිය ආරක්‍ෂක අංශ වෙත උපදෙස් ලබා දුන් බව ඊශ්‍රායලය පැවසීමත් සමගයි.

සටන් විරාමය උල්ලංඝනය කරමින් ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය චෝදනා කරනවා.

මේ හේතුවෙන් ටෙහෙරානය ඉලක්ක කර ගනිමින් දැඩි ප්‍රහාර එල්ල කරන බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.

ඉරානයේ විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද මිසයිල දෙකක් ඊශ්‍රායල හමුදාව විසින් වළක්වා ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් තමන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කල බවට සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ඉරාන රජය පවසා ඇත්තේ.

යළි කලාපයේ මතුවෙමින් ඇති නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද කනස්සල්ලෙන් පසුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

“ඉරානයට බෝම්බ හෙළන්න එපා” යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබෙනවා.

“ඔබේ ගුවන් නියමුවන් දැන්ම නැවත ගෙන්වා ගන්න – බෝම්බ හෙළීම මහා උල්ලංඝණයක්” යනුවෙන්ද ට්‍රම්ප් පවසා තිබෙනවා.

සටන් විරාමය කඩ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කරගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරානයද පවසා ඇත්තේ අලුතෙන් ප්‍රහාර දියත් කිරීම සිදු නොකරන නමුත් තවත් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක, ස්ථිර සහ කාලෝචිත ප්‍රතිචාරයක් දැක්වීමට පසුබට නොවන බවයි.

රාත්‍රියේදී දෙපාර්ශ්වයම වෙඩි හුවමාරුවක නිරත වූ බවත් ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් උතුරු ඉරානයේ පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ “සටන් විරාමය ක්‍රියාත්මක” බවයි.