අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 15කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වූ කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක, ජයනාත් හේරත් මහතා පැවසුවේ කුඩා පරිභෝජන කාණ්ඩ වන ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.

ඒකක 30 සිට ඒකක 180 දක්වා එක් එක් කාණ්ඩවල විදුලි බිල වැඩි වන්නේ මෙසේයි.

ආගමික ස්ථානවල මාසික ස්ථාවර ගාස්තු වෙනස්වන්නේ මෙසේයි.

කර්මාන්ත අංශයේ ඒකක ගාස්තුව 4කින් සහ මාසික ගාස්තුව රු 50කින් ඉහළ යනු ඇති.

 

මේ අතර විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසුවා.

කෙසේවෙතත් මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවති විදුලි ගාස්තු ඉක්මවා නොයන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතුය යන්න රජයේ ස්ථාවරය බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජිත විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා විදුලිබල ඉංජිනේරු සංගමය ඇතුළු පාර්ශව 07ක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද විභාග කිරීම ආරම්භ වුණා.