ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන භූමියේ තැන්පත් කර තිබී ඊයේ රාත්‍රියේ පොලීසිය විසින් ඉවත් කළ බුද්ධ ප්‍රතිමාව අද දිනයේ යළි එම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

එම විහාරස්ථානයේ පවත්වාගෙන ගිය දහම් පාසල සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත්ව තිබූ අතර එම දහම් පාසල යළි ආරම්භ කිරීම සඳහා ගොඩනැගිල්ලකට මුල් ගල තැබීම ඊයේ සිදු කෙරුණා. අදාළ ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීම සිදු කෙරුණේ ඒ අනුවයි.

කෙසේවෙතත් වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ඉදිකිරීම නිතිවිරෝධී බවට පොලීසියට පැමිණිලි කර තිබූ අතර, එම බුදු පිළිමය ඊයේ රාත්‍රියේ පොලීසිය විසින් ඉවත් කිරීමට යාමේදී එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇති වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ කෙරුණු අතර, මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එහිදී කියා සිටියේ එම ස්ථානයේ තිබූ බුද්ධ ප්‍රතිමාවට හානියක් සිදු කිරීමේ ඉඩක් ඇති බවට ලද තොරතුරකට අනුව එම බුදු පිළිමය එම අවස්ථාවේ බවත් කළ බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අදහස් පළ කළා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයද නිවේදනයක් නිකුත් කර තිබුණා. ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ ගරුතර ස්වාමීන් වහන්සේලා සහ දායක පිරිසක් විසින් 2025.11.16 වන දින ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්‍ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත්

කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර තිබූ බව එහි දැක්වෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය කොට්ඨාස භාර නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරීන් එම අනවසර ඉදිකිරීම නවතා දමන ලෙස දන්වා ඇතත් ඉදිකිරීම් නොනවත්වා සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඒ සම්බන්දයෙන් විහාරාධිපති හිමියන්ට පරිසර අමාත්‍යංශය මගින් ලිඛිතව දැනුම්දීමක් සිදු කර තිබියදී එම ප්‍රශ්නගත ඉදිකිරීම සහ බුදුපිළිමය ස්ථාපිත කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම සිදුවීම මුල්කරගෙන ජාතීන් අතර අසමගියක් ඇති වීමට ඉඩ ප්‍රස්තාවක් ඇති බවට ශ්‍රී ලංකා පොලීසියට නිරීක්‍ෂණය වී ඇති බවද එහි සඳහන්.

එම ප්‍රදේශය සියලු ජාතීන් නියෝජනය වන ප්‍රදේශයක් බැවින් යම් හෙයකින් මෙම සිදුවීම දඩමීමා කරගනිමින් යම් කඩාකප්පල්කාරී පුද්ගලයෙකු එම බුදු පිළිමයට යමිකිසි හානියක් සිදු කළහොත් එය ප්‍රදේශයේ සාමය, සහජීවනය පවත්වාගෙන යාමට විශාල ගැටලුවක් ඇති වීමට තුඩුදිය හැකි බැවින් එම අවස්ථාවේ බුදු පිළිමවහන්සේ ආරක්‍ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත වැඩම කරවාගෙන ඒමට කටයුතු කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.