ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අද දිනයේත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා. විමර්ශන කටයුත්තක් සඳහා සැකකාරිය එලෙස පිටතට රැගෙන ගොස් ඇති බවයි නෙත් නිවුස් කල විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.
ඉෂාරා සෙව්වන්දි ඊයේ දිනයේද මතුගම සහ මිද්දෙණිය ප්‍රදේශවලට රැගෙන ගොස් තිබුණා. ඒ, සිදු කෙරෙන විමර්ශන කටයුතුවලට අදාළවයි. ගණේමුල්ල සංජීව ඝාතනය වූ පසුගිය පෙබරවාරි 19වනදා රාත්‍රියේ තමන් වැලිපැන්න ප්‍රදේශයේ නිවසක රැය පහන් කළ බව ඉෂාරා සෙව්වන්දි පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.
ඊට පසු දින දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක මාස එක හමාරක කාලයක් එම සැකකාරිය රැඳීසිට තිබෙනවා.
එම නිවස කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු වන මතුගම ශාන්ගේ සමීපතමයෙකුට අයත් නිවසක් බවටයි අනාවරණ වී ඇත්තේ.
අප්‍රේල් 13 වනදා එම නිවසේ සිට මිද්දෙණිය ප්‍රදේශයේ නිවසකට ගොස් පසුගිය මැයි 06 වනදා යාපනය ප්‍රදේශයට තමන් ගිය බවයි ඉෂාරා සෙව්වන්දි පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබුණේ.
මේ අතර ඉෂාරා සෙව්වන්දිට සැඟව සිටීමට වැලිපැන්න ප්‍රදේශයේ නිවස ලබා දුන් එම නිවසේ හිමිකාරිය සහ ඇයගේ බෑණා වන පොලිස් කොස්තාපල්වරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඊට අමතරව දොඩම්ගොඩ සහ මිද්දේණිය ප්‍රදේශවලදීද ඇයට නවාතැන් ලබා දුන් කාන්තාවක් සහ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.