පාතාල කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට සැඟව සිටීමට ආධාර අනුබලදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

මේ අතර හුංගම, මාමඩල ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව පතරොම් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදියි. එහිදී සැකකරු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන ව්‍යාජ කුටියක් සහිත ලොරි රථයක් සහ කැබ් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ ලොරි රථය හා කැබ් රථය හුංගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර ගිනි අවි සහ පතරොම් තොගය වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ පවතින බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාමඩල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.