පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වශයෙන් නම්කර මේ වන විට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා වෙත වාර්තාවක් ගොනුකරමින් පොලිසිය සඳහන් කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් මත මෙම සැකකාරිය දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බවත් විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවයි.
විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණ වාර්තා කිරීමට පියවර ගන්නා බවත් පොලිසිය සඳහන් කර සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන වල ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියම කළ අතර මෙම සැකකාරිය නිරීක්ෂණය කිරීම කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කරනු ඇති බවත් පොලිසියට දන්වා සිටියා.
මෙම සැකකාරියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන සිටින තවත් සැකකරුවන් දෙදෙනෙකු දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙන බවත් පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා.
මෙම සැකකරුවන් ගනේ මුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් වශයෙන් නම් කර තිබේදැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසීමක් කළා.
එවිට පොලිසිය ප්‍රකාශ කළේ මොවුන් අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර නොමැති බවත් සෙව්වන්ති නැමැත්තියට ආධාර අනුබල දීම හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.
එම තත්ත්වය යටතේ එම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තම අධිකරණයට නියෝග නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඔවුන් සම්බන්ධයෙන් වෙනම බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට පෙන්වා දුන්නා.
එවැනි විධිමත් කරුණු දක්වීමකින් පසුව අවශ්‍ය නියෝග නිකුත් කිරීමට අධිකරණය කටයුතු කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.