ගාසා නගරයේ පාලන බලය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායලයේ සැලැස්මට එරෙහිව මුස්ලිම් ජාතීන් එකමුතුව ක්‍රියා කර ජාත්‍යන්තර විරෝධයක් පෙළගැස්විය යුතු බව තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිදාන් පවසනවා. තුර්කි විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ ඊජිප්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් පසුවයි. වසර දෙකකට ආසන්න කාලයක් පුරා පවතින විනාශකාරී යුද්ධය සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර විවේචන මධ්‍යයේ, ඊශ්‍රායලය සිය හමුදා මෙහෙයුම් පුළුල් කරමින්, ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් ඉකුත් දිනයේ ඊශ්‍රායලයේ දේශපාලන - ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායලයේ සැලැස්ම පලස්තීනුවන් කුසගින්නෙන් තබා, ඔවුන්ගේ ඉඩම්වලින් පලවා හැරීම බවත්, ඊශ්‍රායලයට දිගටම සහය දැක්වීමට අනෙකුත් රටවල්වලට සාධාරණ හේතුවක් නොමැති බවත් තුර්කි විදේශ අමාත්‍ය ෆිදාන් සඳහන් කර තිබෙනවා. මෙම සැලැස්ම සම්බන්ධයෙන් කලාපීය බලවතුන් වන ඊජිප්තුව සහ තුර්කිය හෙළා දැක තිබෙනවා. අදාළ සැලැස්ම ක්‍රියාත්මක කිරීම නැවැත්වීමට ලෝක බලවතුන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන්ද පියවර ගන්නා ලෙසයි තුර්කි විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි හමුවීමෙන් පසු පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඊජිප්තු ජනාධිපති සමඟ අදහස් දක්වමින් ෆිදාන් පැවසුවේ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය හදිසි රැස්වීමකට කැඳවා ඇති බවයි. මේ අතර ගාසා තීරයේ ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳ එවැනි සැලැස්මක් සහ ගාසා ජනතාව කුසගින්නේ තැබීමේ ප්‍රතිපත්තියක් ඊශ්‍රායලයට නොමැති බවත් මෙම යුද්ධය අවසන් කළ හැක්කේ හමාස් සංවිධානය යටත් වීමෙන් පසුව බවයි ඊශ්‍රායලය පවසා ඇත්තේ. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයකට එළඹීම සඳහා ඊජිප්තුව, කටාර් සහ අමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්කරුවන්ගේකණ්ඩායම් මාස ගණනාවක් සිට කටයුතු කරමින් සිටිනවා.
Published