හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට පෙර, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ටෙල් අවිව්හි දැවැන්ත රැලියක් පවත්වා තිබෙනවා.

රැස්ව සිටි පිරිස අමතමින් අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසා ඇත්තේ “ප්‍රාණ ඇපකරුවන් ගෙදර එනවා” යනුවෙනුයි.

එම ප්‍රකාශයත් සමග ටෙල් අවිව්හි රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රශංසා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ස්ටීව් විට්කොෆ්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගැන සඳහන් කළ විට හූ හඬ නැගූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ට්‍රම්ප් ඊජිප්තුවට යාමට පෙර හෙට දිනයේ ඊශ්‍රායලයට යාමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දියණිය ඉවන්කා සහ බෑණා වන ජරෙඩ් කුෂ්නර් ද ටෙල් අවිව් රැලිය අමතා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීමෙන් පසු, පසුගිය දින දෙක තුළ ගාසා තීරයේ නටඹුන් වී ඇති උතුරු ගාසා තීරයට ලක්ෂ පහක පමණ ජනතාව නැවත පැමිණ ඇති බව පලස්තීන නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

අවතැන් වූ පලස්තීනුවන් විශාල වශයෙන් ගාසා තීරයේ උතුරු දෙසට ගමන් කිරීම අඛණ්ඩවම සිදු කරන බව සිවිල් ආරක්ෂක අංශ පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

නිදහස් කරන ලද ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සඳහා රෝහල් ද සූදානම් කර තිබෙනවා.

මේ අතර යුද්ධය අවසන් වූ පසු ගාසා තීරය පාලනය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායල හමුදා විසින් මෑතකදී ඉවත් කරන ලද ගාසා තීරයේ ප්‍රදේශවල පාලනය නැවත තහවුරු කර ගැනීම සඳහා හමාස් සංවිධානය දහස් ගණනක් සටන්කරුවන් කැඳවා ඇති බවද වාර්තා වනවා.

යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමක් අවසන් කිරීම සඳහා හෙට දිනයේ සමුළුවක් පවත්වන බව ඊජිප්තුව තහවුරු කර තිබෙනවා.

ට්‍රම්ප් ඇතුළු නායකයින් 20කට වැඩි පිරිසක් ෂාර්ම් එල්-ෂෙයික්හි පැවැත්වෙන සමුළුවට සහභාගී වන බවයි ඊජිප්තු ජනාධිපති ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ එක්සත් රාජධානියේ අගමැති සර් කීර් ස්ටාර්මර් හෙට දිනයේ ඊජිප්තුවට යන බවටද තහවුරු වී තිබෙනවා.

ඉකුත් දා ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම යටතේ, වසර දෙකක යුද්ධයෙන් පසුවත් ඔවුන් තවමත් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 48 දෙනා නිදහස් කිරීමට හමාස් සංවිධානයට පැය 72ක් දක්වා කාලය ලබා දී ඇති අතර, ඔවුන්ගෙන් 20 දෙනෙකු ජීවතුන් අතර සිටින බවටයි අනුමාන කෙරෙන්නේ.

ඒ අනුව අත්සන් කරන ලද ගිවිසුමට අනුව, එකඟ වූ පරිදි ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව හෙට උදෑසන ආරම්භ කිරීමට නියමිතයි.