ගතවූ පැය 24 පුරා ගාසා තීරය ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 400කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවතැන් වූ සාමාන්‍ය ජනතාවට නවාතැන් පහසුකම් ලබාදීමට භාවිතා කර ඇති ක්‍රීඩාංගනයක් අසළට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින්ද කුඩා දරුවන් ඇතුලු 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම ප්‍රහාර පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක හමුදා තවමත් අදහස් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේවෙතත් ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසා ඇත්තේ ගාසා නගරයේ සබ්රා ප්‍රදේශයේදී හමාස් හමුදා අංශයේ ජ්‍යේෂ්ඨ චරිතයක් වූ හකම් මුහම්මද් ඊසා අල්-ඊසා මරා දැමූ බවයි.

ඔහු හමාස් හමුදා අංශයේ ආරම්භක සාමාජිකයෙකු බවත්, හමාස්හි සාමාන්‍ය ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු බවත්, 2023 ඔක්තෝබර් 07 වන දින ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරය සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී සැලකිය යුතු කාර්යයක් ඉටු කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසා ඇත්තේ.

මේ අතර හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් ලබන සතියේදී එකඟතාවකට පැමිණිය හැකි බවටයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.

ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ඕවල් කාර්යාලයේ පැවති උත්සවයකදීයි.

ඊශ්‍රායලය සහ හමාස් නිලධාරීන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.