ඊසාන දිග මෝසම් තත්ත්වය මේවන විට දිවයින හරහා ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ඇතැම් ස්ථානවලට මිලි මීටර් සියයකට වඩා තද වැසි ඇතිවිය හැකි බවටයි අනාවැකි පලවන්නේ.

ඒ, උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලටයි.

තද වැසි අපේක්‍ෂා කෙරෙන ප්‍රදේශ මොනවාද? කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල මහත්මියගෙන් නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසා සිටියා.

මේ අතර, දිස්ත්‍රික්ක 04කට පැනවූ නාය යෑම් රතු නිවේදනය පවතින කාලගුණ තත්ත්වය සලකා තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40කට ඉවත් වන ලෙස දන්වා ඇති බවයි.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට විමසිලිමත් විය යුතු බවට නිවේදනයක් නිකුත් කර ඇති බවයි ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නවතම වාර්තාවක් එළිදක්වමින් අනාවරණ කර තිබුණේ සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර ජලය හෙක්ටයාර මිලියන 1යි දශම 1කට වඩා වැඩි ප්‍රමාණයකට බලපෑම් සිදුකර ඇති බවයි. ඒ අනුව රටෙහි සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 20ක් එනම් පහෙන් එකක ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බව එහි සඳහන්. නිවාස, යටිතල පහසුකම් හා අත්‍යවශ්‍ය සේවාවන්ට සැලකිය යුතු හානියක් සිදුකර ඇති බවයි එම වාර්තාවෙන් අනාවරණය කර තිබුණේ.

දිස්ත්‍රික්ක 25කට බලපෑම් එල්ල කරමින් ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගංවතුරට ලක්වූ ප්‍රදේශවල මිලියන 2යි දශම 3කට ආසන්න පිරිසක් ආපදාවට ලක්ව ඇති බවත් ඉන් අඩකඩ වඩා කාන්තාවන් වන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනාවරණය කර තිබුණා.