රට තුළ යළි ජාතිවාදී දේශපාලනයට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු - කප්තුරු සවිය” තේමාව යටතේ අද පෙරවරුවේ පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවති උතුරු පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමින්.

උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය, භාෂා සහ සංස්කෘතික අයිතිය සුරැකීම මෙන්ම අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්ද රජය කැප වී සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළා. උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේ. මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ද එක්ව සිටියා. මේ යටතේ පේදුරුතුඩුව - සිලාවතුර - කෝකිලායි යන නගර තුන යා කරමින් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත උතුරු පොල් ත්‍රිකෝණය ස්ථාපිත කරනු ඇති. 2025 සිට 2027 වර්ෂය දක්වා වන වසර 03 තුළදී එම ඉඩම් ප්‍රමාණය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීමත් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලැබෙන ආදායම වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 70කින් වැඩි කර ගැනීමත් මෙහි අරමුණයි.