උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයට පැමිණ තිබෙනවා. විශේෂ සන්නද්ධ දුම්රියකින් උතුරු කොරියානු නායකයා චීන දේශසීමාවට ඇතුළු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ සංචාරයක නිරත වන්නේ 2019 වසරෙන් පසුවයි. එමෙන්ම ඔහු කිසියම් රටක නිල සංචාරයකට එක්වන්නේ වසර දෙකකට පසුව පමණ වීමද විශේෂත්වයක්. උතුරු කොරියානු නායකයා විදේශ සංචාරවලට එක්වීම දුර්ලභ සිද්ධියක් වන අතර ඔහු අවසන් වරට රුසියාවේ සංචාරයක නිරත වුණේ 2023 වසරේදීයි. එම සංචාරයට ඔහු පැමිණියේ ද අධි තාක්ෂණික උපාංග සහිත විශේෂ දුම්රියකින්. මෙවර උතුරු කොරියානු නායකයා චීන සංචාරයේ නිරත වන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුවහන් කෙරෙමින් පැවැත්වෙන සංවත්සර පෙළපාලිය නැරඹීමේ අපේක්ෂාවෙන්. චීනයේ බෙයිජින් අගනුවරදී පැවැත්වෙන එම පෙළපාලිය නැරඹීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් ද සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. චීන, රුසියානු සහ උතුරු කොරියානු නායකයින් මෙලෙස එක්වීම අමෙරිකාවට කරන අභියෝගයක් ලෙස හඳුන්වාදිය හැකි බවයි ඇතැම් දේශපාලන විචාරකයින් පෙන්වාදී ඇත්තේ.