ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව මහව සිට අනුරාධපුර දක්වා අතර ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේදී එම දුම්රිය ස්ථානවලට ප්‍රවේශ වීමට ආබාධ සහිත පුද්ගලයින්ට පහසුකම් නොසලසා ප්‍රමිතියෙන් තොරව දුම්රිය ස්ථාන අලුත්වැඩියා කර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළ වාචික දේශන මේ මස 24 වනදා ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා මෙම නඩුවේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන්ට නියෝග කළා.
නඩුවට අදාළ විරෝධතා ගොනු කරන ලෙසට වගඋත්තරකරුවන්ට මීට පෙර නියෝග කර තිබුණා. එම නියෝගයට අනුව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, උතුරු පළාත සහ අනුරාධපුර භාර ඉංජිනේරු අධිකාරිවරයා විසින් විරෝධතා ගොනු කර කරනු ලැබුවා. නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකරිවරයා සහ උතුරු පළාත සහ අනුරාධපුර භාර ඉංජිනේරු අධිකාරිවරයා සහ නීතිපතිවරයායි.
ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමාගමීව මහව සිට අනුරාධපුරය දක්වා අතර ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේදී 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 25 වන වගන්තිය යටතේ සාදන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන නියෝග අනුගමනය කිරීමකින් තොරව ප්‍රශ්නගත දුම්රිය ස්ථාන සංවර්ධනය කර ඇති බව මෙම පෙත්සම ඉදිරිපත් කරමින් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහාධිකරණයට කියා සිටියා.
පෙත්සම්කාරියගේ නීතිඥවරුන් ස්වකීය කරුණු දැක්වීම්වලදී තවදුටරත් මහාධිකරණයට පවසා සිටියේ 1996 අංක 28 දරණ අබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 24 (1) සහ 24 (3) වගන්ති ප්‍රකාරව ආබාධ සහිත පුද්ලයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ අවස්ථාවකදී ඊට අදාළව අධිකරණ බලය සහ සාධාරණ සහ යුක්ති සහගත ප්‍රතිකර්ම සහ සහන ලබා දීමට පළාත්බද මහාධිකරණයකට බලය පවතින බවයි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ අමන්දා කල්පශාකා මෙනවියගේ උපදෙස් මත නීතිඥවරුන් වන ඉසුරු පන්ඩිත සහ ධනුක කුමාරවඩු යන මහත්වරුන් පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධි නීතිඥ නිසල් කොහොන මහතා පෙනී සිටියා.