අධිකරණ කටයුතු අවසන් වූ වහාම ගැසට් පත්‍රය නිකුත් කර උපාධිධාරින්ට ගුරු විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් වන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරේ අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ. රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම අදහස් පළ වුණා. එම සාකච්ඡාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි යන මහත්වරු ද සහභාගි වූ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. ගුරු විභාගයට ඉල්ලුම් කිරීමේ වයස් සීමා සංශෝධනයට ලක් කරමින් එම වයස් සීමාව දීර්ඝ කිරීමටත් දැනට පවත්නා සියලු ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවාගැනීම් සිදු කිරීමටත් එම සාකච්ඡාවේදී එකඟත්වය පළ වී තිබෙනවා. මේ අතර අවශ්‍ය කරන අනෙකුත් උපාධිධාරී බඳවාගැනීම් මේ වනවිට කැබිනට් අනුමැතිය ලැබී ඇති පරිදිම සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.
Published