එංගලන්තයේ හා මෝල්ටාවේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ නීතීඥවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සිය විශේෂ විමර්ශන අංශයට පැමිණි අවස්ථාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
ඔහු මොරටුව ප්‍රදේශයේ බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇතත් එංගලන්තයේ හෝ මෝල්ටා රාජ්‍යයට රැකියා ලබාදීමට වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොතිබූ බවද ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවා.
එම රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය ද කල් ඉකුත්වී තිබෙනවා.
ඒ අනුව එම සැකකරු කාර්යාංශ පනත උල්ලංඝණය කරමින් අදාල රටවල රැකියා ලබාදීමට පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් අනූ හතර ලක්ෂ දස දහසක මුදලක් අයකර ඇති බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
එහෙත් පොරොන්දු වූ පරිදි ඔහු විසින් අදාල පුද්ගලයින්ට රැකියා ලබාදී නැහැ.
ඒ අනුව එම පුද්ගලයන් සිදුකළ පැමිණිලි විභාග කිරීම සඳහා අදාළ සැකකරු කාර්යාංශයට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර නීතීඥවරයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු විසින් වරද පිළිගත් හෙයින් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
මේ අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකිරීමට තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි අයෙකුගෙන් රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබාගත් ජාඇල, කලඑළිය ප්‍රදේශයේ පදිංචි හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිට ඇති අතර උපායදූතයින් මාර්ගයෙන් ඔහුව සම්බන්ධ කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි එම කාර්යංශය පැවසුවේ.
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.