හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය, හුළංවංගුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තුවාල ලැබූ කුඩා ළමුන් ඇතුළු 05 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

තලවකැලේ සිට නුවරඑළිය, උඩුපුස්සැල්ලාව දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගය හරහා පෙරලීයාමෙන් එම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරට ලක්වන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ එකම පවුලේ පස් දෙනෙකු ගමන් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක කලාපවලට ඇද හැලෙන වර්ෂාව සහ ඝණ මීදුම් තත්වය හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව වාර්තා වනවා.

හැටන් - නුවරඑළිය, හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල එම ඝණ මීදුම් තත්වය පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.