එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන එකක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල නෞකා සමාගමට අද නියම කළා.

එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවටයි තීන්දුවේ සඳහන් වුණේ.

ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂය භාර අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේ අදාල ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින්.