සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, සමගි ජන බලවේගයේ ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීයි. සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම මත එම විශේෂ සාකච්ඡාව සිදු වන බවටයි වාර්තා වන්නේ. එම සාකච්ඡාවේදි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් අදහස් ලබා ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්‍ෂාව බවයි වාර්තා වුණේ. එළඹෙන 09 වනදා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත අතර එහිදී මෙම සාකච්ඡාවේදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජිතයින් දැනුවත් කිරීමටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානමින් සිටින බවයි සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග විපක්ෂයේ කණ්ඩායම් අද පවත්වන සාකච්ඡා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙලෙස අදහස් පළ කළා.

ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සහ ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ.