එකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩදී පවත්වන රැළිය අද පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ආණ්ඩුවට එරෙහිව පවත්වන එම විරෝධතා රැළිය නම් කර ඇත්තේ “මහා ජන හඬ” නමින්.

කෙසේවෙතත් එම රැළියට මීට පෙර සහභාගී වන බවට ප්‍රකාශ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට සහභාගී නොවන බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසුවේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට ද ඊට ආරාධනා නොකළ බවද ඔහු කියා සිටියා.

විපක්ෂයේ බොහෝ පිරිසක් නොමැතිව පවත්වන රැළිය විපක්ෂයේ රැළියක් වන්නේ කෙසේදැයි නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනේදී උදය ගම්මන්පිල මහතාගෙන් සෘජුව ප්‍රශ්න කළා.

මේ අතර නුගේගොඩ අද පැවැත්වෙන රැළිය හේතුවෙන් ඒ ආශ්‍රිත මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව පස්වරු 02.00 සිට එම රැළිය අවසන් වන තෙක් නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටසෙහි එනම් ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨය ඉදිරිපිට මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සීමා කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.

එම කාලය තුළ අදාල මාර්ගය භාවිත කරන රියදුරන් හා මහජනතාවට ඇතුල්විය හැකි අපහසුතා මඟහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝට්ටේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කළ හැකියි.

පිටකෝට්ටේ දෙස සිට හා නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියෙන් ගම්සභා හන්දිය හා දෙල්කඳ හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය පැවසුවේ.

මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ නගරය දෙසට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් දකුණට කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කළ හැකි බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.