ඕස්ට්‍රේලියානු ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ සැකකරු හඳුනාගෙන තිබෙනවා. කෙසේවෙතත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. අද උදෑසන වික්ටෝරියානු පොලිසිය පවසා තිබුණේ 56 හැවිරිදි මෙම පුද්ගලයා දැඩි ලෙස ආයුධ සන්නද්ධව සිටින බවයි. ඔහු තවමත් නිදැල්ලේ සිටින බැවින් ආරක්ෂිතව සිටින ලෙසටයි ජනතාවට දැනුම්දී ඇත්තේ. සැකකරුට එරෙහි ලිංගික අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල වූ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වික්ටෝරියානු පොලිසිය පවසා ඇත්තේ ආයුධ සන්නද්ධව සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවයි. වෙඩි තැබීමෙන් තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.