සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම් රාන්ගේ සමීපතම අනුගාමිකයෙකු වන 45 හැවිරිදි මොහොමඩ් මිහිලාර් මොහොමඩ් අර්ෂාඩ් නැමැත්තා ඉන්දියාවේ සිට පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබියදී අද අලුයම ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු කොළඹ – 13 ආදුරුප්පු වීදියේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වීසා සහ ගමන් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැදී සිටියදී ඉන්දීය ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මෙසේ පිටුවහල් කර එවා තිබුණා.
මොහු අද දින අලුයම 02.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.
මොහු 2017 වසරේ මෙරටින් ඩුබායි වෙත පළා ගොස් තිබූ අතර 2019 වසරේ මාකදුරේ මදූෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් පිරිසක් ඩුබායි හි උපන් දින සාදයකදී අත් අඩංගුවට පත් වීමත් සමගම ඉන්දියාව වෙත පළා විත් තිබුන බව සදහාන් වනවා.
මොහුගේ බිරිඳ සහ දරුවන් තවදුරටත් ඉන්දියාවේ රැදී සිටින අතර ඔවුන්ට වලංගු වීසා සහ ගමන් බලපත්‍ර ඔවුන් සන්තකයෙහි පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
මේ වනවිට මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර එම නිලධාරීන් මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සදහාන් වන්නේ.