දකුණු කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී අද සොයා ගැනුණු හෑෂ් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ එම මත්ද්‍රව්‍ය තොගය ගෙන ආවේ කවුරුන්ද, ඒවා කාට අයත් මත්ද්‍රව්‍ය දැයි සොයා අංශය කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම හෑෂ් මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන සොයාගනු ලැබුවේ කටුකුරුන්ද මුහුදේ පාවෙමින් තිබියදීයි. ලද තොරතුරක් මත අද සිදුකෙරුණු සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සල් 10ක් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා. ඒවා පරික්ෂා කිරීමේදී එම පාර්සල් තුළ ඇත්තේ “හෑෂ්” මත්ද්‍රව්‍ය බවට අනාවරණ වී ඇති අතර ඒවායේ සම්පූර්ණ බර කිලෝ 11යි ග්‍රෑම් 759ක් වන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර කල්පිටිය උච්චමුනෙයි කලපු ප්‍රදේශයේ ඊයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ තිස් අටක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. එම ඩිංගි යාත්‍රා දෙක තුළ තිබූ පාර්සල් දහඅටක එම කේරළ ගංජා තොගය අසුරා සඟවා තිබියදී සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

එලෙස සොයාගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන අටකට අධික වන බවද නාවික හමුදාව සඳහන් කළා. එම කංසා තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.