රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා තෝරා පත්කර ගැනීමේ නිලවරණය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම නිලවරණය පැවැත්වීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර් ආර් එම් ජී සේනාරත්න මහතා.

විහාර හා දේවාලගම් පනත අනුව මෙවර මෙම නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ස්වාමීන් වහන්සේලා ඇතුළු 17 දෙනෙකු සුදුසුකම් ලබනවා.

කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ ඒ අවට විහාරස්ථාන තුනක විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලා සිව් නමක්, බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සහ රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා ඒ අතරට අයත්.

ඊට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතිනවා.

මොණරාගල දිස්ත්‍රික්කයේ මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරියන් දෙදෙනෙකු සේවය කරන අතර ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට හිමි ඡන්ද දෙකක් මෙවර නිල වරණයේදී ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

මෙවර නිලවරණයට කතරගම දේවාලයේ වැඩබලන නිලමේවරයා ලෙස කටයුතු කරන දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුෂංක මහතා සහ තවත් අපේක්‍ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් වනු ඇති බවට වාර්තා පල වී තිබෙනවා.

දේශපාලන ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රලබයෙකුගේ ඥාති පුත්‍රයෙකු සහ හිටපු තානාපතිවරයෙකු එලෙස එම නිලවරණයට ඉදිරිපත් වනු ඇති බවටයි නිල නොවන වාර්තා අනාවරණ කරන්නේ.

කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරයේ පසුගිය වසර 05ක කාලය තුළ කටයුතු කළ ඉෂාන් ගුණසේකර මහතා මෙවර බස්නායක නිලමේ නිලවරණය සඳහා ඉදිරිපත් නොවනු ඇති බවටද වාර්තා පල වී තිබෙනවා.