කතරගම සිවිල් ආරක්ෂක කලාප කඳවුරේ භටයෙකු පැළඳගෙන සිටි රුපියල් ලක්ෂ 14 ට ආසන්න වටිනා රත්‍රං භාණ්ඩ තොගයක් වංචා කලේ යැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම කඳවුරේ දෙවන අණදෙන නිලධාරීයා ලබන 30 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දෙවන අණදෙන නිලධාරියා කතරගම පොලීසිය මගින් තිස්සමහාරාම අධිකරණ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ශිරන්දි කුරේ මහත්මිය ලබාදුන් නියෝගයක් මතයි.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කතරගම කඳසුරිඳුගම සිවිල් ආරක්ෂක කලාප කඳවුරේ දෙවන අණදෙන නිලධාරියා බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
බුත්තල, ගෝනගංආර උප කාර්යාලයේ සිට කතරගම කලාප කඳවුර වෙත අනුයුක්ත කර සිටින සිවිල් ආරක්ෂක භටයෙකු ලවා එම දෙවන අණදෙන නිලධාරියා රුපියල් 20,000 කට අධික මුදලකට මත්පැන් සහ බයිට් වර්ග ගෙන්වා ගෙන තිබෙනවා.
රජමාවත ප්‍රදේශයේ නිවසකදී තවත් තිදෙනෙකු සමග මත්පැන් පානය කරමින් විනෝද වෙමින් සිටියදී සැකකාර දෙවන අණදෙන නිලධාරියා සුලු වේලාවකට බව පවසා තමා පැළඳ සිටි රුපියල් දහතුන් ලක්ෂ දාහත් දහස් පන්සියයක් වටිනා රත්‍රං මාල දෙකක්, සුරයක් හා මුද්දක් ඉල්ලාගත් බව එම සිවිල් ආරක්‍ෂක නිලධාරියා පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලේ සදහන්.
ඡායාරූපයක් ගැනීමෙන් පසු ආපසු සිය රත්රන් භාණ්ඩ ලබාදෙන බවට දෙවන අණදෙන නිලධාරියා ප්‍රකාශ කළද පසුව එය නොදුන් බවද එම සිවිල් ආරක්‍ෂාක නිලධාරියා පවසා තිබෙනවා.
ඒ අනුව සාදයට සහභාගිවූ පුද්ගලයින් ගෙන්ද සාක්ෂි ලබාගෙන සිදුකළ විමර්ශනවලින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.




