කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව මේ වන විට සකස් කරමින් පවතින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් සටහන් කර ගැනීම මේ සතිය තුළදී සිදු වන බවයි ඔහු කියා සිටියේ.

එම විශ්වාසභංග යෝජනාව භාර දීම සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර දිනයක් තීරණය කර නොමැති බවයි වාර්තා වුණේ.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නොගැලපෙන බැවින් එම විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එවැනි පසුබිමකයි සමගි ජන බලවේගය විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට සැලසුම් කර ඇත්තේ.