පොලිස් නිලධාරීන් තිදෙනෙක් රුපියල් මිලියන 2.5 ක කප්පම් මුදලක් ඉල්ලා සිවිල් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා මරා දමන බවට තර්ජනය කළ පුවතක් පකිස්තානයෙන් වාර්තා වේ.
පකිස්තාන මාධ්‍ය අනුව කප්පම් ලබා ගැනීමෙන් අනතුරුව එම පොලිස් නිලධාරීන් අදාළ සිවිල් වැසියන් දෙදෙනා නිදහස් කර තිබේ.
පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයින් දෙදෙනා ඔවුන්ගේ යතුරුපැදියේ පෙට්‍රල් අවසන් වූ විට පොලිස් නිලධාරීන්ගෙන් උපකාර ඉල්ලා ඇත.
පොලිස් නිලධාරීන් ඔවුන්ට උදව් කරනවා වෙනුවට ඔවුන්ව පැහැරගෙන ගොස් තුවක්කු පෙන්වා පෞද්ගලික ගොඩනැගිල්ලකට ගෙන ගොස් සිරකර තබා ඇතැයි වාර්තා වේ.
පැහැර ගැනීමට ලක් වූ තරුණයින් දෙදෙනාගේ මව්පියන් රුපියල් 675,000 ක කප්පම් මුදලක් ලබා දී තම දරුවන් පොලිස් භාරයෙන් නිදහස් කර ගැනීමත්, පසුව මේ පිළිබඳව පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ අවධානයට යොමු කිරීමත් සමඟ මෙම කාරණය කරළියට පැමිණ තිබේ.
පසුව සැකකරුවන් කහනා පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් වන තවුකීර්, ඉක්බාල් සහ වජිඩ් ලෙස හඳුනාගෙන ඇත.
රයිවින්ඩ් පොලිසිය ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.