යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් 04ක් හඳුන්වා දීමට කම්කරු අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව දැනට භාවිතයේ පවතින කම්කරු නීති 14ක ප්‍රතිසංස්කරණ අධ්‍යයනය කිරීම සඳහා සාමාජිකයන් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

ප්‍රධාන වශයෙන් ශ්‍රමයට අදාල පනත් කෙටුම්පත් 04ක් ප්‍රථමයෙන් සකස් කිරීම සඳහා එම කමිටුව එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව වෘත්තීය සමිති, ශ්‍රමය, වෘත්තීය ආරක්ෂාව සහ ශ්‍රමයෙන් ඉවත් වීම යන කරුණු 04 සඳහා වෙනම පනත් කෙටුම්පත් සකස් කිරීමටයි එම කමිටුව එකඟතාවකට පැමිණ ඇත්තේ.

නව නීති සම්පාදනය කරන තෙක් පවතින කම්කරු නීතිවලට අවශ්‍ය සංශෝධන සිදු කිරීමට ද අවධානය යොමුව තිබෙනවා.

ඊට අමතරව රාත්‍රියේ වැඩ කරන කාන්තාවනක් පිළිබඳ නීතිය, කම්කරු ආරක්ෂණ පනත සහ සේවයෙන් ඉවත් කිරීමක් සිදු වුවහොත් රක්ෂණයට අදාල කරුණු සඳහා ද සංශෝධන සිදු කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණ කෙරුණා.